ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ලාල් තිලකරත්න

මෙතෙක් රාජ්‍ය විශ්වවිද්‍යාල පහළොවක් ක්‍රියාත්මක විය. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය හැරුණු විට සෙසු සියලුම විශ්වවිද්‍යාල එහිදී අනුගමනය කළේ සිසුන් දේශන ශාලාවලට රැස්කර අඛණ්ඩ අගැයීම් ක්‍රියාවලියක් හා අවසාන විභාග ක්‍රමයක් මගින් උපාධිලාභීන් බිහිකරන ක්‍රමයකි. විවෘත හා දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය පසුගිය දස වසරක සිට ප්‍රචලිත වුවත් එය තීරණාත්මක ලෙස භාවිතයට ගැනුණේ ආසන්න වසර එකහමාරක පමණ කාලයේදී කොරෝනා වසංගත රෝග තත්ත්වය සමගිනි. ඒ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ඉදිරියට ගෙනියන්නේ කෙසේදැයි සෑම විශ්වවිද්‍යාලයකටම බැරෑරුම් ලෙස මුහුණදීමට සිදුවීම හේතුවෙනි.

සැබැවින්ම මෙම අර්බුදය හමුවේ සෑම විශ්වවිද්‍යාලයක්ම සිය දේශන පවත්වා විභාග පැවැත්වීම ගැන යළි සිතාබලන තැනකට තල්ලු විය. අනපේක්ෂිත අනාගතයේවත් මෙම වසංගතයට පිළිතුරක් නොවීම ඊට හේතුවයි. මෙම වසංගත තත්ත්වයේදී දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන ක්‍රමවේදය ඉතාම සාර්ථක ලෙස අපේ විශ්වවිද්‍යාල පද්ධතියේ ප්‍රචලිතවීමට පටන්ගත්තේ ඉන්පසුවය. එහෙත් වැඩිකල් නොයාම ඊට බොහෝ බාධක හා විවේචනවලට මුහුණ දෙන්න සිදු වූ අතර වෙනස්වීමට ඇති අකමැත්තද එහිලා ප්‍රධාන සාධකයක් විය. මෙම විවේචන සාමාන්‍ය පොදුජන සමාජයෙන් මෙන්ම විද්වත් සමාජයෙන් ද පැමිණියේය.

ආසියාවේ ජනගහනයට සාපේක්ෂව බැලූවිට උසස් අධ්‍යාපනය සඳහා යොමුවන පිරිස සියයට 4ක් පමණ වේ. එය ප්‍රතිශතයක් හැටියට ගත්කල ඉතා අඩු අගයකි. රජ්‍ය හා ලෝක බැංකුව එක්ව විවිධාකාර වූ ආධාර හා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හරහා මෙම උසස් අධ්‍යාපන පහසුකම් ප්‍රචලිත කිරීමට උත්සාහ ගැනුණේ එහෙයිනි. කෙටියෙන් කිවහොත් වැඩි ශිෂ්‍ය පිරිසකට සරසවි වරම් ලබාදීම එහි අරමුණයි.

උසස් අධ්‍යාපන පාඨමාලා සම්පූර්ණ කිරීමට විශාල ඉල්ලුමක් ඇතත් එම පිරිසට විශ්වවිද්‍යාලවලට භෞතිකව පිවිසීමට ඇති හැකියාව ඉතා අවමය. විශේෂයෙන්ම දැනටමත් ලංකාවේ විශ්වවිද්‍යාලයකට පිවිසෙන විට සිසුන්ගේ සාමාන්‍ය වයස් ප්‍රතිශතය අවුරුදු 18ත් 19ත් අතරය. පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් විශ්වවිද්‍යාල පිවිසුම තවත් පමා කිරීම යනු උපාධිධාරියකු බිහිවන වයස අවුරුදු විසි පහක් විසි හයක් පමණ වීමය. ඒ වනවිට තරුණ ජීවිතයක කාර්යක්ෂමව වැඩ කළ හැකි කාලය අබිබවා ගොස් අවසානය. මේ නිසා දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන ක්‍රමයට යොමුවීමට අද අපට සිදුව තිබේ.

මෙහිදී අප පළමුව විමසා බැලිය යුත්තේ පවතින අභියෝගකාරී වටපිටාවෙහි මෙය හොඳ ක්‍රමවේදයක්ද කියාය. මීට වසර හතළිහකට එපිටින් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය පිහිටුවූයේම දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන ක්‍රමය එක් අරමුණක් කරගනිමින් ඉගෙනුම් හා ඉගැන්වීම් ක්‍රියාවලිය විවෘතව හා නම්‍යශීලීව සියලු දෙනාට ඕනෑම තැනක සිට ඕනෑම වේලාවක පිවිසීමේ හැකියාව ඇතැයි යන උත්තරීතර සංකල්පය මතය. මේ නිසා විවෘත හා දුරස්ථ අධ්‍යාපන ක්‍රමය සිසුන්ට වැදගත් වන්නේ කෙසේද කියාද බැලිය යුතුවේ. විශේෂයෙන්ම උසස් අධ්‍යාපනයට ප්‍රවේශ පහසුකම් නොමැති සිසුන්ට තමන් ස්ථානගත වී ඇති තැන් අනුව ඔවුන් ජීවත් වන පරිසරයට ගැළපෙන ආකාරයට අධ්‍යාපනය ලබාදීම මෙම ක්‍රමවේදයේ ප්‍රධානතම අරමුණයි.

තමන් පාඨමාලාවකට ඇතුළුවන්නේ කුමන අවස්ථාවේදී ද හා පිටත්වන්නේ කුමන අවස්ථාවේදී ද යන්න තීරණයට මෙම දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන ක්‍රමයේදී ශිෂ්‍යයාට ඉතා හොඳ වරණයක් දී ඇත. එමෙන්ම අදාළ පාඨමාලා අතුරෙන් සිය අනාගත අභිවෘද්ධිය සඳහා යොමුවිය යුත්තේ කවර පාඨමාලාවකටදැයි තීරණය කිරීම ද එක්තරා ආකාරයකට ඔවුන්ට ලැබෙන වරප්‍රසාදයකි. විශේෂයෙන්ම මෙම ක්‍රමවේදයේදී සිසුන්ට ඉදිරිපත් කර ඇත්තේ රැකියා අභිමුඛ, අදාළත්වය හා ගුණාත්මකභාවය පවතින අනාගත ඉගෙනුම් අවස්ථා තවදුරටත් පුළුල් කරන උපාධි පාඨමාලාය.

ඉගැන්වීමේ ක්‍රමවේදයට තාක්ෂණය මුසුකිරීමෙන් ශිෂ්‍යයා භෞතිකව හා අථත්‍යව සම්බන්ධ කිරීම පහසු කරයි. මේ අථත්‍ය ක්‍රියාවලියෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරු හා සිසුහු ඉගෙනුම් ක්‍රියාවලියට සාර්ථකව යොමුවෙති. ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගෙන පිළියෙළ කරන ලද ඉගෙනීමේ විවිධාකාර සම්පත් ඊට භාවිත වේ. එය විටෙක පටිගත කරන ලද දේශනයක් විය හැකිය. තවත් විටෙක වීඩියෝ තාක්ෂණය ඔස්සේ පවත්වන සම්මන්ත්‍රණයක් විය හැකිය. අථත්‍ය ඉගෙනුම් කළමනාකරණ ක්‍රමය හැටියට අපි එය හඳුන්වමු. ඕනෑම පාඨමාලාවක අන්තර්ගතය ඇතුළු කිරීමත් අධ්‍යයන වැඩසටහන තුළ පවතින විෂය ඒකක වෙන වෙනම පිටුවලට සකස් කිරීමටත් මෙහිදී හැකිවේ. නිදසුනකට අර්ධ වාර්ෂික සමාසිකයකදී එක ඒකකයකට සති 15ක් පවතී නම් වෙන් වෙන් වශයෙන් පාඩම් මාලා ඇතුළත් කිරීමටත් අඛණ්ඩ ඇගයීම් ක්‍රම ඇතුළත් කිරීමටත් එහිදී හැකියාව පවතී. එමෙන්ම සිසුන්ගේ අන්තර් සම්බන්ධතා දියුණුවටද මෙය භාවිත කිරීමෙන් සමානයන් අතර සාකච්ඡා ගොඩනැගීමක් ද සිදුවේ. එය විෂය කරුණු පුළුල්ව අවබෝධ කරගැනීමට පහසුවේ.

 නිර්දිෂ්ට ග්‍රන්ථ පරිශීලනයේදී අපේ අත්දැකීම වන්නේ භෞතිකව පොත පිටු පෙරලා බලා විභාගයට ඉදිරිපත් වීමය. එහෙත් මෙම ක්‍රමයේදී භාවිතයට ගැනෙන ඉලෙක්ට්‍රොනික පොත් පරිච්ඡේද වෙන් කරගෙන සතියට අදාළ පරිච්ඡේදය පමණක් ඇතුලත් කළ හැකිය.

අනෙක් අතට දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන ක්‍රමයේදී දේශනවලට සවන්දීමට සිසුහු විවිධ මෙවලම් භාවිත කරති. එය සිය ජංගම දුරකථනයේ සිට ලැප්ටොප්, ඩෙස්ක්ටොප් පරිගණක, ටැබ්ලට් ආදිය දක්වා ලැයිස්තුවකි. මෙයට එක්තරා ආකාරයකට විවෘත දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය කියනවාට අමතරව නම්‍යශීලී අධ්‍යාපන ක්‍රමවේදය කියා හඳුන්වන්නේ ද එහෙයිනි. ඒ ඇයි? මා කලින් සඳහන් කළ ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය තුළට පිවිසුමේ පහසුවයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම මේ වනවිට සෑම විශ්වවිද්‍යාලයකටම අධ්‍යාපන ක්‍රියාවලිය සඳහා සූම් තාක්ෂණ පහසුකම් ලබාදුන්නේ ද මෙම නම්‍යශීලීභාවය සඳහාය. මේ නිසා සිසුන්ට දේශන ශාලාවට නොගොස් සිය දේශනවලට සවන්දීමට හැකියාව ලැබේ. යම් හෙයකින් එම අවස්ථාව මගහැරුණහොත් ඉගෙනුම් කළමනාකරණ පද්ධතියට අප්ලෝඩ් (උඩුගත) කෙරුණු එම දේශනයේ හඬ පටිය ඩවුන්ලෝඩ් (බාගත) කරගැනීමට සිසුන්ට අවස්ථාව ලැබේ.  පංති කාමරයකදී කෙරෙන දේශනයක් හිස් අවකාශයට මුසු වූ විට එය දරුවන් උකහාගන්නේ සටහන් කරගන්නා දෙයින් පමණි.

එහෙත් එම සිසුන්ටම පටිගත කරන ලද දේශනය ඕනෑම අවස්ථාවක පරිපූර්ණ ලෙස සවන්දීමට හැකිවීම විශේෂ වාසියකි.

මෙම ඉලෙක්ට්‍රොනික මෙවලම් භාවිතයෙන් ඉගෙනුම් ක්‍රියාවලියේදී පරිගණකය ඉදිරිපිට සිට ඒකාකාරීව ක්‍රියා කරද්දී සිසුන්ට යම්කිසි කනස්සලුභාවයක් ඇතිනොවන්නේදැයි කෙනකුට යම් පැනයක් මතුවිය හැකිය. කෙටියෙන් ඊට ඇති පිළිතුර වන්නේ දේශනවල සිසුන් රඳවාගැනීමට නව ක්‍රම බිහි වී ඇති බවය. මෙම ක්‍රම අපේ ආචාර්යවරුන්ට අන්තර්ජාලයෙන් නොමිලේ ලබාගැනීමට හැකියාව ඇත.

 kahoot, Gosopbox, Padlet, Mentimeter  ඊට නිදසුන් කීපයකි. අන්‍යොන්‍ය වශයෙන් සම්බන්ධවීමට හා විවිධ ඉදිරිපත් කිරීම්වලට පවතින සමාජ මාධ්‍ය ක්‍රමවේද හැටියට තවදුරටත් එය පැහැදිලි කළ හැකිය. සිසුන්ගේ උද්‍යෝගය නොනැසී පවත්වාගෙන යමින් දේශනයෙහි තවදුරටත් රඳවාගැනීමට මේවා භාවිත කළ හැකිය. එමෙන්ම දරුවා තුළ තරඟකාරිත්වයක් ඇතිකළ හැකිය. එනම් කිසියම් විෂයක් ඉගැන්වීමේදී ඊට අදාළ විෂය කරුණු ප්‍රමාණය තක්සේරුවේ ඉගෙනුම් ඵලය පිරික්සා බැලීමය. මෙසේ ඉගෙනුම් ඵලය අත්පත් කරගත්තාදැයි බැලීමට සාම්ප්‍රදායික ක්‍රමය වූයේ විභාගයක් පැවැත්වීමයි. දැන් එම පරීක්ෂාවම විභාග නොමැතිව පෙර කී සමාජ මාධ්‍ය ක්‍රමවේද භාවිතයෙන් කළ හැකිය.

අනෙක් අතට විශ්වවිද්‍යාල දේශන ශාලාවකදී සම්මුඛව කතා කිරීමට පැකිලෙන සිසුවා මාර්ගගත ක්‍රමයේදී නොබියව සහභාගී විය හැකිය. සිසුන් ඉගෙනුම් ඵලය සාක්ෂාත් කරගන්නා බවට එය ආචාර්යවරුන්ට හොඳ තහවුරුවකි. මෙම ක්‍රමය යටතේ විභාග ක්‍රමයේ විශ්වාසය ආරක්ෂා වන්නේද යන්නත් බොහෝ දෙනකුට ඇති තවත් ගැටලුවකි. විභාග සඳහා මෙය ඵලදායී ක්‍රමයක් නොවන බවට ඇතැම්මු තර්ක කරති. එහෙත් ඔවුහු අනෙක් අතට ඒ සඳහා ඵලදායී විකල්ප ක්‍රමයක් යෝජනා කරන්නේ ද නැත. එසේ නම් විභාග ක්‍රමය ක්‍රියාත්මක් කරන්නේ කෙසේද? අඛණ්ඩ ඉගැන්වීමේ ක්‍රියාවලියේදී මාර්ගස්ථ ප්‍රශ්න කිසියම් කාල රාමුවක් තුළ ඉදිරිපත් කිරීම වැදගත්ය. එමෙන්ම මාර්ගස්ථ ක්‍රමයට පැවරුම් දී වීඩියෝ පටයක් නිර්මාණය කර අදාළ කථිකාචාර්යවරයාට ලබාගත හැකිය. පැවරුම් කාලය නිශ්චිතව තීරණය කරන ඩ්‍රොප් බොක්ස් වැනි තාක්ෂණික ක්‍රම ද ඒ සඳහා ඇත. එමෙන්ම සිසුන්ට තමන් උගත් දේ පිළිබඳ ස්වයංතක්සේරුවකට පැමිණීමට ද මෙම තාක්ෂණික ක්‍රියාවලියේදී පහසුය. නිදසුනකට සති පහළොවක කාලයට අදාළ පාඩම් දේශනවලට සහභාගී වෙමින් අප්ලෝඩ් කර ඇති සටහන් පරිශීලනයෙන් සිසුන් නිර්මාණය කරන ඊපෝට්ෆෝලියෝ හෙවත් ඉලෙක්ට්‍රොනික සාක්ෂි සංග්‍රහය ඔවුන්ගේ ඉගෙනුම් ඵලය ප්‍රතිරූපණය කරයි. විභාග ක්‍රියාවලියේදී වංචනික ක්‍රියාවලට මෙහිදී ඉඩක් ඇතැයි යන සැකය අවිශ්වාසයට තුඩු දී ඇති සාධකයයි. එහෙත් එය සැබෑවක් නොවේ.

අථත්‍ය සම්මුඛකරණයේදී භාවිත කෙරෙන පෙර පරිශීලනය කරන ලද සිද්ධි අධ්‍යයන ( Pricing case studies)  හා මාර්ගස්ථ ප්‍රශ්නාවලි (online quizes)  හා නුදුටු ප්‍රශ්න (Unseen questions)  නිසා ඊට ඉඩක් නැත. කුඩා සිද්ධි අධ්‍යයන මෙන්ම නොමිලේ ලබාගත හැකි විවෘත අධ්‍යාපන සම්පත් ලබා දිය හැකිය. එනිසා මෙම ක්‍රමවේදයෙන් සැබැවින්ම සිදුවන්නේ සිසුන්ගේ සංලේෂණය, විශ්ලේෂණය, ඇගයීම හා තර්කය යන ගුණාංග නිවැරැදිව පරීක්ෂා කිරීමට හැකිවීමය. එසේ බලද්දී අවසාන විග්‍රහයේදී සාම්ප්‍රදායික ඉගෙනුම් ක්‍රියාවලියට සාපේක්ෂව දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන ක්‍රමවේදය විශිෂ්ට එකක් බව පැහැදිලිය.

අපේ උසස් අධ්‍යාපනයේ ඇති ප්‍රවේශ පහසුකම් ප්‍රශ්නය හා පූර්ණකාලීනව සරසවි අධ්‍යාපනයට නියැළීමේ අපහසුව යන කරුණු සලකා බැලීමේදී ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය ගැන ද මෙහිදී සඳහන් කිරීම වටී. විශේෂයෙන්ම සාම්ප්‍රදායික උසස් අධ්‍යාපනයට පිවිසීමට නොහැකිව, රැකියාවක් කරමින් සිටින ඔබට උසස් අධ්‍යාපනයේ සරසවි පිවිසුම් සුදුසුකම් නොමැති වුවද විවෘත විශ්වවිද්‍යාලයේ දොරටු විවෘතව ඇත.

අධ්‍යාපන, ඉංජිනේරු හා තාක්ෂණ, සෞඛ්‍ය විද්‍යා, මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා, ස්වභාවික විද්‍යා හා කළමනාකරණ අධ්‍යයන වශයෙන් පීඨ හයක් යටතේ මෙම උසස් අධ්‍යාපන පහසුකම් ලැබේ.

මා මෙය අතිරේක කරුණක් වශයෙන් සඳහන් කළේ සාම්ප්‍රදායික උසස් අධ්‍යාපනය වසංගතය හමුවේ කිසියම් හෝ සීමා මායිම්වල සිර වුවද විවෘත විශ්වවිද්‍යාලයේ පවතින ව්‍යුහය නිසාම පොදු සමාජයට ලැබිය හැකි අවස්ථා අසීමිත බව කීමටය.

විශේෂයෙන්ම අධ්‍යාපනයට අදාළව මෙම ක්‍රියාදාමයේදී සිදුවන්නේ දිනෙන් දිනම ඊට අදාළ නවෝත්පාදන ක්‍රමවේද බිහිවීමය. මේ නිසා සිසුන්ගේ හැකියා වැඩිදියුණු කිරීමට ද එය පෙරළා බලපායි. නිදසුනක් හැටියට උසස් අධ්‍යාපනය ලබන සිසුවකු හෝ සිසුවියක ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඇති විවෘත ඉගෙනුම් සම්පත් භාවිත කිරීමේදී ඔහුගේ හෝ ඇයගේ භාෂා හැකියාව දියුණු වේ. විශේෂයෙන්ම අන්තර්ජාලය ඔස්සේ සිදුකරන තොරතුරු හඹායෑමේදී විදේශ රටවල අධ්‍යාපන පාඨමාලා, විදේශ ශිෂ්‍යත්ව, රැකියා වැනි අවස්ථාවලට ද දොරටු විවර වේ. අනෙක් අතට ආචාර්යවරුන්ගේ ඉගැන්වීම් හැකියාව දියුණු වෙද්දී රැකියා අවස්ථා වැඩිදියුණු වී රැකියා සපයන ආයතන අතර සම්බන්ධතා වර්ධනය වීම ද වැදගත් සාධකයකි. මේ සියල්ල නිසා අවසන විෂය ජාත්‍යන්තරකරණයට ද ලක් වේ. එනිසා ක්‍රමවේදයක් හැටියට ගත්කල  උසස් අධ්‍යාපනය ලබාදීම හා රැකියා වෙළෙඳපොළට ක්ෂණිකව පිවිසීමට ඇති හැකියාව අතර ඇති පරතරය අවම කිරීමේදී  දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන ක්‍රමවේදය විශිෂ්ට එකක් බව යළි යළිත් තහවුරු වේ.

කෙසේ වෙතත් මෙම ඉගැන්නුම් ක්‍රියාවලිය ගුණාත්මකභාවයෙන් දියත් වන බවට සහතික කිරීම මෙහිදී වැදගත්ය. එහිදී කළ යුත්තේ උසස් අධ්‍යාපන ආයතනයේ පාලනය, විෂය නිර්දේශ, ඉගැන්වීම හා ඉගෙනීම, ශිෂ්‍යන් සඳහා වන පහසුකම් යන කාරණා ඇතුළත් ගුණාත්මකභාවය සහතික කිරීම සඳහා වූ ක්‍රමවේද භාවිතයයි. කෙසේ වෙතත් මෙම ක්‍රමයට විවේචන එල්ලවීමේදී ඊට ප්‍රධානම පදනම වී ඇත්තේ පොදු ජනයා අතර කෙතරම් දුරට අන්තර්ජාල පහසුකම් තිබේද යන සාධකයයි. සිසුන් විෂයෙහි ගත්කල ද ඔවුන් මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නය වී තිබෙන්නේ දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යාපන ක්‍රමවේදයට අවශ්‍ය මෙවලම් සියලු දෙනාම සතු නොවීමය. තවත් කරුණක් නම් විද්‍යුත් තරංගවල විචලනය හා විදුලිබල අවශ්‍යතාය.

ඉතින් මෙම අධ්‍යාපන ක්‍රමය සුමට ලෙස දියත්වීමට නම් කළ යුත්තේ ලංකාවේ සතරදිග්භාගයටම අන්තර්ජාල ප්‍රවේශ පහසුකම් වගාදිගා කිරීමය. ඊට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට සමාගම් උනන්දු කිරීමය. එසේ වුවහොත් මෙම බොහෝ චෝදනා හා විවේචනවලට පිළිතුරු ලැබෙනු ඇති අතර ජාතික උසස් අධ්‍යාපන ක්‍රියාවලියේ අඛණ්ඩතාවට ද පහසුකාරකයක් වනු ඇත.

(*** සංවාද සටහන – බිඟුන් මේනක ගමගේ)